Search This Blog

Sunday, April 28, 2024

Apple පරදා Huawei සහ Honor නැවතත් තම නිජබිමේ අයිතිය තහවුරු කරගනී...

2019දී ගෝලීය ජංගම දුරකථන වෙළඳපොළ තුළ Apple සමාගම ඉක්මවා Huawei සමාගම දෙවනි ස්ථානයට පැමිණීමත් සමඟ ම ඇමරිකාව විසින් Huaweiවෙත දැඩි සම්බාධක පනවන ලදි. ඒ අනුව Huawei සමාගමට ගූගල් සේවාවන් තම ජංගම දුරකථන තුළ පූර්ව ස්ථාපනය(pre-install) කර එවීම තහනම් වූ අතර ගූගල් සේවාවන් සහය දැක්වීම ද නතර විය. එසේ ම ඇමරිකානු තාක්ෂණයෙන් නිපදවන Chipset සැපයීමට දැඩි සම්බාධක දැමීම Huaweiහි පැවැත්මට දැඩි පහරක් විය. එබැවින් Huawei සමාගම විසින් ම තම ජංගම දුරකථන සඳහ සංවර්ධනය කළ Kirin චිප්සෙට් නිශ්පාදනය කිරීමට ද නොහැකි වූයේ ඒවා ඇමරිකානු තාක්ෂණය භාවිත කරන තායිවානයේ TSMC සමාගම හරහා නිර්මාණය කිරීමට මෙම සම්බාධක නිසා නොහැකි විමෙනුයි. එසේ ම 5G තාක්ෂණය ද ඔවුන්ට තහනම් වූ අතර මේ හරහා Huawei ජංගම දුරකථන වෙළඳපළ තුළ දැඩි පසුබෑමකට ලක්විය. එසේ ම ඇතැම් විශ්ලේශකයන් මෙන් ම ඇමරිකානු රාජ්‍ය නිවේදන පවා සඳහන් කරන ලද්දේ Huawei සමාගමට තමන්ගේ ම තාක්ෂණයකින් නැගී සිටීමට අවම වසර 10ක්වත් ගතවනු ඇති බවයි.

ඒ කෙසේ නමුත් කලක් නිහඬ අවධියක් පසුකළ Huawei සමාගම Android වෙනුවට තමන්ගේ ම Harmony OS නම් මෙහෙයුම් පද්ධතියකුත්, Google සේවාවන් වෙනුවට තමන්ගේ ම සේවාවනුත්, ඇමරිකානු 5G තාක්ෂණය වෙනුවට එය මෙන් 10 ගුණයකින් වේගවත් 5.5G නම් තාක්ෂණයකුත් එළි දක්වන ලදි. එසේ ම ඇමරිකාව වසර 10ක් ගතවේයැයි අනාවැකි පළකළ chipset ඔවුන් වසර තුනක් පමණ කාලයක් ඇතුළත සාර්තක ව සංවර්ධනය කර kirin 9000s නමින් තම Mate 60 Pro ජංගම දුරකථන සමඟ එළිදක්වන ලදි. එය සාර්ථක පෙරනිමිති පෙන්වීමත් සමඟ නවතම Huawei P70(pura 70) මාදිලියට තවත් වැඩි දියුණු කළ Kirin 9010 නම් චිප්සෙට් එකක් සමඟ එළිදක්වන ලදි. මෙය ජංගම දුරකථන ඡායාරූපකරණයේ හැරවුම් ලක්ෂයක් බවට පත්වන්නේ එහි දක්නට ලැබෙන කැමරා පද්ධතිය මඟින් පෙර නොවූ විරූ ආකාරයේ ගුණාත්මක ඡායාරූප අන් සෑම ජංගම දුරකථන සන්නාමයක් ම ඉක්මවා ප්‍රකට කිරීම මඟිනුයි. කෙසේ නමුත් සම්බාධක මධ්‍යයේ වුව ද Huawei සමාගමේ ජංගම දුරකථන කැමරා අංශයෙන් අන් සෑම දුකරථන සන්නාමයක් ම පරදවා මුල් ස්ථානයේ රැඳී සිටීමට සමත්වීම විශේෂත්වයකි.

එසේ ම මෙතෙක් කලක් Huawei සමාගමේ sub-brand එකක් ලෙස පැවති Honor සන්නාමය ඇමරිකානු සම්බාධකවලින් බේරීම සඳහා වෙන ම සන්නාමයක් බවට පත්කොට පවත්වාගෙන යන්නට Huawei සමාගම කටයුතු කළ අතර එබැවින් Honor වෙත Google, 5G, chipset තහනම බලපෑවේ නැත. Honor සමාගම අවසානයට නිකුත් කළ High-end ජංගම දුරකථනය වන Honor magic 6 pro දුරකථනය Battery, Camera, Screen, Selfie, Audio යන සියලු අංශවලින් මුල් ස්ථානය වාර්තා කළ ලොව පළමු ජංගම දුරකථනය ද විය.

මේ ආකාරයට Huawei සමාගම තමන්ගේ ම පර්යේෂණ හා තාක්ෂණික ක්‍රම මඟින් බාහිර කිසිදු උපකාරයක් නොමැති ව තම ජංගම දුරකථන සංවර්ධනය කරගෙන පැමිණි අතර Huawei Mate 60 මඟින් තමන්ගේ ම Kirin Chipsetවල නැවත ආගමනයත්, කැමරා අංශයෙන් හා ජංගම දුරකථනවල Durability එකෙහි පෙන්වූ සුවිශේෂී දියුණුවත්, ලොව පළමු චන්ද්‍රිකා ඇමතුම් ගතහැකි ස්මාර්ට් ජංගම දුරකථනය විමත් සමඟ පාරිභෝගික ආකර්ශනය නැවත Huawei වෙත ලැබෙන්නට විය. එහි ප්‍රතිඵලයක් ලෙස ලොව විශාලත ම ජංගම දුරකථන වෙළඳපළ වන චීනය තුළ Huawei පසුබෑමත් සමඟ කලක් ප්‍රථම ස්ථානයේ සිටි Apple ජංගම දුරකථන පරදවා 2024 දී Huaweiහි Honor සන්නාමය පළමුවන ස්ථානයටත්, Huawei දෙවනි ස්ථානයටත් පත්විය. මෙය ලොව විශාලත ම ජංගම දුරකථන වෙළඳපළ තුළ Apple විශාල ලෙස පසුබෑමකට ලක්වීමක් මෙන් ම Huaweiහි සුවිශේෂී නැගිටීමකි. එසේ ම චීන දුරකථන සන්නාමයක් වන Oppo 3වන ස්ථානයට පත්වී ඇති අතර Apple ප්‍රථම ස්ථානයේ සිට 4වන ස්ථානය දක්වා පසුබෑමකට ලක් වී ඇත.

Huawei

Monday, April 15, 2024

Huawei සමාගම තම P series ජංගම දුරකථන මාදිලිය නවතා දමයි...




Huawei සමාගම විසින් ඡායාරූපකරණය ම ඉලක්ක කරගෙන නිකුත් කරන ලද P (Photography) ජංගම දුරකථන මාලාව ඔවුන්ගේ P60 ජංගම දුරකථන පෙළ නිකුත් කිරීමත් සමඟ අවසන් කර තිබෙනවා. ඒ අනුව අප්‍රේල් මාසයේ මුල් භාගයේ නිකුත් කිරීමට තිබූ Huawei P70 ජංගම දුරකථන මාලාව Huawei P70 ලෙස නොව Huawei Pura 70 ලෙස නව නාමකරණයක් යටතේ නිකුත් කරන බව ඔවුන්ගේ පූර්ව ප්‍රචාරක වීඩියෝපට මඟින් ප්‍රදර්ශනය කර ඇත. එසේ ම නිකුත්වීමට නියමිත Huawei Pura 70 දුරකථන මාලාවේ පිටුපස කැමරා සැලසුම බොහෝ විට ත්‍රිකෝණාකාර හැඩයකට නිර්මාණය වන බවට ද එම පූර්ව ප්‍රචාරක වීඩියෝපට මඟින් පුරෝකථනයක් ඉදිරිපත් කරන බව ද දක්නට ලැබේ. බොහෝ දුරට මෙම Pura 70 දුරකතන මාලාව Huawei Pura 70, Pura 70 Pro, Pura 70 Art වශයෙන් තුන් ආකාරයකට නිකුත්විය හැකි ය. මෙම දුරකථන මාලාව කරුණු 5ක් ඉලක්ක කරගෙන නිර්මාණය කරන බව ඔවුන්ගේ පූර්ව ප්‍රචාරක වීඩියෝව නිරීක්ෂණය කිරීමේ දී පෙනී යන කරුණකි. ඒ අනුව passion, purity, style, creativity, and classic යන තේමා අරමුණු කරගනිමින් Huawei Pura 70 දුරකථන මාලාව නිර්මාණය කර ඇත.

 






















Huawei Pura 70 මාදිලියේ සැලැස්ම පුරෝකථනය කරමින් දැනට අන්තර්ජාලයට නිකුත් වී ඇති ඡායාරූප
 
 
 
 
 
 
Pura 70 සඳහා Huawei විසින් නිකුත් කර ඇති පූර්ව ප්‍රචාරක වීඩියෝපටය


Wednesday, March 25, 2020

මොනවාද මේ වෛරස් ?





- වෛරස් -


වෛරසයක් කියන්නේ සජීවී ධාරක සෛල තුළ දී විතරක් ප්‍රජනනය කරන්ට පුලුවන් ජෛව කාරකයක්, ඒ වගේම ව්‍යාධිජනකයින් කාණ්ඩයක්.

වෛරසයක් ප්‍රධාන කොටස් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයකින් යුක්තයි.
වෛරසයක ප්‍රධාන ම කොටස තමයි ජානමය කොටස. මේක DNA හෝ RNA අණුවලින් එක් වර්ගයකින් යුක්තයි. ගොඩක් වෙලාවට වෛරස්වල තියෙන්නේ RNA නැතිනම් රයිබෝ නියුක්ලික් ඇසිඩ් කියන අණු.මේවාගේ තමයි ඒ වෛරසයේ සර්වසම පිටපත් නිර්මාණයට අවශ්‍ය ජානමය කේතයන් එහෙමත් නැතිනම් ප්‍රවේණි දත්ත තැන්පත් වෙලා තියෙන්නේ.
ඊලග කොටස ප්‍රෝටීන් ආවරණය. මේ ප්‍රෝටීන් ආවරණයෙන් කරන්නේ ජානමය කොටස ආරක්ෂා කරන එක.මේ කොටස් දෙකට අමතර ව සමහර වෛරස්වල ලිපිඩ එහෙමත් නැතිනම් මේදවලින් හැදුන ආවරණයකුත් තියෙන්ට පුලුවන්.


වෛරසයක පැවැත්ම හා පැතිරීම


වෛරස් එකක් කියන්නේ පරපෝශිතයෙක්,ඒ හින්දා කිසිම වෙලාවක වෛරස් එකකට ධාරක සෛලයක් නැතිව වර්ධනය වීමේ හැකියාවක් නෑ.ඒ හින්දා අනිවාර්යයෙන් ම ශරීරයේ හම සියුම් ස්ථානවලින්,මුඛයෙන් එහෙමත් නැතිනම් තුවාලවලින්,විවිධ සත්ව දශ්ටනවලින්(ඩෙංගු,මැලේරියා) වෛරස් ඇතුල්වෙන්ට පුලුවන්.
එහෙම ඇතුල් වෙලා සෛලවලට හානි කරලා වෛරසයේ ජානමය කොටස මගින් සෛලවල වෛරස් ප්‍රෝටීන් නිපදවන්ට පටන් ගන්නවා, එහෙම වුණාම ඒ සෛලවලට අවශ්‍ය ප්‍රෝටීන් නැතිව යනවා, ඒකෙන් ධාරක සෛල විනාශ වෙනවා, මේ විදිහට ආසාදනය වෙච්ච සෛල්වල ප්‍රෝටීන් වෛරස ප්‍රෝටීන් නිපදවන්ට යොදාගෙන අන්තිමට මේ වෛරස ශරීරය පුරා පැතිරෙනවා විතරක් නෙවෙයි විවිධ මාර්ග හරහා (කොරෝනානම් ශ්වසන මාර්ගය හරහා වුණත්) බාහිර පරිසරයටත් ගමන් කරනවා.


වෛරස සදහා ප්‍රතිකාර


මෙහෙම ශරීරයට ආසාදනය වෙච්ච වෛරස් විනාශ කරන්ට හැකියාවක් නෑ.ශරීරයට බැක්ටීරියා වගේ ආසාධනය වුණොත් ඒවා ප්‍රතිකාර ක්‍රම මගින් විනාශ කරන්ට පුලුවන්.(ඒ වගේම ගොඩක් වෛරස් බැක්ටීරියාවලට වඩා 100 වාරයකින් විතර පොඩියි.)
ඒත් වෛරසයක් එහෙම විනාශ කරන්ට බෑ, ඒක ප්‍රතිශක්තිය හරහාම විනාශ වෙනකම් ඉන්ට වෙනවා.
බාහිරින් කරන්ට පුලුවන් ප්‍රතිශක්තිකරණය වැඩි කරන බෙහෙත් වර්ග,එන්නත් වර්ග හා වෙනත් ආහාර වර්ග ලබා දීම විතරයි.ඒ වගේම ශරීරයට වෛරසයක් ආසාදනය වුණාම ඒ වෛරසයට විරුද්ධ ප්‍රතිශක්තිය මුළු ජීවිත කාලය පුරාවටම ගොඩනැගිලා තියෙනට පුළුවන්.
ඒ හින්දා තමා පැපොල, කම්මුල්ගාය වගේ වෛරස් මිනිසෙකුට ජීවිතයට එක් වරක් හෝ දෙවරක් හැදෙන්නේ.

ඒ වගේම වෛරස් රෝගයක දී කිසිම වෙලාවක ප්‍රතිජීවක (antibiotic) ඖෂධ වර්ග භාවිතා කරන්ට එපා කියලා තමා කියන්නේ.මොකද ප්‍රතිජීවක ඖෂධවලට වෛරස්වලට බලපෑමක් කිරීමේ හැකියාවක් නෑ.